ලෝක පාස්කු නාට්‍යයේ ආරම්භය

පල්ලිය ආශ‍්‍රිත ව නාට්‍ය කලාවක් බිහිවීමේ මූලාරම්භය, පාස්කු නාට්‍ය කලාව බිහිවීමෙහිලා පළමු වෙඩි මුරය මුදා හරියි. ලෝක ඉතිහාසය විමසීමේ දී මධ්‍යකාලීන යුගයේ යුරෝපය තුළ ඊට අදාළ වූ සාධක සපයා ගත හැකිය. ක‍්‍රිස්තියානි ආගම පිළිගත් මුල් අවධියේ පල්ලිය තුළ නාට්‍ය කලාව වෙනුවෙන් පැවතියේ ප‍්‍රබල විරෝධයකි. නාට්‍ය කලාව තහනම් වීම එහි ප‍්‍රතිඵලය විය. රෝම නාට්‍ය කලාවේ විශුකදර්ශන ( the spectacular comedian drama - Ludi Romani)  සදාචාර විරෝධි නාට්‍ය ලෙස කතෝලික ශාසනයේ මුල් සභා පියවරු විසින් හැඳින්වූ අතර ඔවුන් එම නාට්‍ය ශාලාව හැඳින්වූයේ අනංගයාගේ දේවාලය යනුවෙනි. (එදිරිවීර සරච්චන්ද්‍ර, සිංහල ගැමි නාටකය (කොළඹ: ගොඩගේ, 1999) පිටු, 12: විජිත් රොහාන්, ලාංකේය පාස්කු-දුඃඛප‍්‍රාප්ති නාට්‍යයේ ඉතිහාසය, ආකෘති හා භාවිතය (කොළඹථගොඩගේ 2009: පිටු, 22-24ත ජූඞ් සිසිර පෙරේරා, පාස්කු නාට්‍ය කලාව, (කොට්ටාව: සාර ප‍්‍රකාශන, 2000) පිටු, 24: Wijith Rohan, Original Sin in the Oberammergau Passion Play (Colombo: Godage, 2013) pp.14-20).

මෙම අවධිය වන විට කතෝලික පූජකවරුන් ආගම ව්‍යාප්ත කිරීමෙහිලා දැඩි ප‍්‍රයත්නයක් දැරූහ. මෙසේ පල්ලිය විසින් නාට්‍ය කලාව තහනම් කර තිබුණ ද පොදු ජනයා අතර පැවති නාට්‍ය භාවිතය මකාලන්නට තරම් පල්ලියට හැකියාවක් නොලැබුණි. එම නිසා නාට්‍ය කලාව අරඹයා ජනයා තුළ පැවැති උද්යෝගය තම ආගම ප‍්‍රචාරය කිරීමේ උපක‍්‍රමයක් ලෙස යොදා ගැනීමට පූජකවරු කටයුතු කළහ. පල්ලියේ පැවැත්වෙන පූජා කටයුතුවලට ජේසු ස්වාමි දරුවන්ගේ ජීවිතයට අදාළ වූ කොටස් නාට්‍යාකාරයෙන් රංගනය කිරීම එහි ප‍්‍රතිඵලය විය. මෙසේ පල්ලිය ආශ‍්‍රිතව නාට්‍ය කලාවක් බිහි නොවූයේ නම් අද පවතින පාස්කු නාට්‍ය කලාව ද බිහි නොවන්නට ඉඩ ප‍්‍රස්ථාව තිබුණි. තව ද මධ්‍යකාලීන යුගයේ යුරෝපයේ ප‍්‍රචලිත ව තිබූ ජනවන්දනා නාට්‍ය (Christian Liturgical Plays) විශේෂය ද පාස්කු නාට්‍ය වර්ධනය වීමෙහිලා ඍජුව බලපා ඇත. ජනවන්දනා නාට්‍ය සඳහා පදනම් වූයේ කතෝලික ආගම හා සම්බන්ධ කථාවස්තු ය.

පල්ලිය ආශ‍්‍රයෙන් බිහි වූ මෙම ජනවන්දනා නාට්‍ය ක‍්‍රමිකව වර්ධනය වීමත් සමඟම පාස්කු-දුක්ප‍්‍රාප්ති නාට්‍ය ආරම්භ වීය. 1634 දී ආරම්භ වූ ජර්මනියේ ‘ඔබර් අමගවූ’ පාස්කු-දුක්ප‍්‍රාප්ති නාට්‍යය ‘බ්ලැක් ඩෙත්’ නමැති මහාමාරිය වසන්ගතයට ගොදුරු වූ ජනතාව ඉන් බේරා ගැනිම සඳහා එහි ගම් වැසියෝ දෙවියන්ට බාරයක් වීමේ ප‍්‍රතිඵලයකි. 1634 සිට සෑම දස වසරකට වරක් අද දක්වා ‘ඔබර් අමගවූ’ පාස්කු-දුක්ප‍්‍රාප්ති නාට්‍යය වේදිකාගත වීම එහි විශේෂත්වයයි. (ලාංකේය පාස්කු-දුඃඛප‍්‍රාප්ති නාට්‍යයේ ඉතිහාසය, ආකෘති හා භාවිතය, පිටු, 135-187 Original Sin in the Oberammergau Passion Play, pp. 1-2).

ලෝක නාට්‍ය කලාව ගත් කළ බැලේ රංඟනයට දිගු ඉතිහාසයක් දක්නට ලැබේ. මෙහි මුල් බීජ සොයාගත හැකි වන්නේ ග‍්‍රීසියෙනි. ක‍්‍රි. පූ. 5 වන සියවසට අයත් ග‍්‍රීක සොහොන් කොතක බැලේ රංඟනයක යෙදෙන කාන්තාවකගේ රුවක් චිත‍්‍රයට නගා තිබිම මීට සාක්ෂි දරයි. 

ලෝක නාට්‍ය කලාවේ උපත දිග හැරෙන්නේ ග‍්‍රීක නාට්‍යයෙනි. දියෝනිසුශ් නම් දෙවියන් වටා ගෙතුණු පුද පූජා මුල් කරගෙන ක‍්‍රි. පූ. 594 සිට ග‍්‍රීක නාට්‍ය කලාව උපත ලැබූ බව සඳහන් වේ  (See T. A. Sinclare, A History of Classical Greek Literature: From Homer to Aristotle (London: Routledge & Kegan Paul, 1949, pp. 219, 221-222; J. Michael Walton, Living Greek Theatre: A Handbook of Classical Performance and Modern Production (Westport: Greenwood, 1987, pp. 12-18)'

කි‍්‍රස්තියානි ජනවන්දනා නාට්‍ය කලාව 

මෙසේ ක‍්‍රමිකව වර්ධනය වූ ග‍්‍රීක පුද පූජා නාට්‍ය බටහිර නාට්‍ය කලාවේ තවත් ප‍්‍රභේදයක් වන කි‍්‍රස්තියානි ජනවන්දනා නාට්‍යට ද මුල පිරීයග පාස්කු නාට්‍යයේ ආරම්භය අවබෝධ කර ගත හැකි වන්නේ මධ්‍යකාලීන යුරෝපීය කි‍්‍රස්තියානි ජනවන්දනා නාට්‍ය පිළිබඳ අධ්‍යයනයක නියැලිමෙන්ය. මෙම කාල වකවානුව ක‍්‍රි. ව. 10 වන සියවසේ සිට ක‍්‍රි. ව. 15 වන සියවස දක්වා දිග හැරේ. මධ්‍යකාලීන යුරෝපීය නාට්‍ය කලාව ගත් කළ කිතුනු ජනවන්දනා නාට්‍ය (Christian Liturgical Plays) අභිරහස් හෙවත් මිස්ටරි නාට්‍ය :(Mystery Plays)  ප‍්‍රාතිහාර්ය විෂයක හෙවත් මිරකල් නාට්‍යය (Mystery Plays) සහ සදාචාර හෙවත් මොරැලිටි  (Morality Play) වශයෙන් නාට්‍ය වර්ග 4 කට මූලිකව බෙදීය හැකිය.(See Alfred W. Pollard, English Miracle Plays Moralities and Interludes (London: Clarendon, 1972, pp. xi-lxxi). 

බටහිර ග‍්‍රීක නාට්‍ය කලාවේ පමණක් නොව භාරතීය හා චීන නාට්‍ය මෙන්ම සිංහල නාට්‍යයේ ද ප‍්‍රභවයට මුල් වූ ආගමික වත් පිළිවෙත් හා පොදු ජනතාවගේ ඇදහිලි හා පුද පූජා යුරෝපීය නාට්‍ය කලාවේ උපතට පදනම් වූ බව සඳහන් වේ. මධ්‍යකාලීන යුරෝපීය ජනවන්දනා නාට්‍යයේ ප‍්‍රභවයට මූල බීජය වපුරවමින් ප‍්‍රථම වරට දිව්‍ය පූජාවට නාට්‍ය ගුණයෙන් අනූන වූ නිරූපිත ජවනිකාවක් එක් කරනු ලැබුවේ දහවන ශතවර්ෂයේ දී ය. මධ්‍යකාලීන කිතුනු ජනවන්දනාවට අයත් ඉපැරණිතම නාට්‍ය වන මෙය පාස්කු දිව්‍ය පූජා යාගයෙහි ( Mass of Easter) නිරූපිත වූවකි. එහි අත් පිටපතක් සාන්ත ගෝල් (St.Gall) තාපසාරාමයෙහි හමුවන අතර එහි අති සරලතම අනුවාදය ලතින් බසින් මෙසේ සඳහන් වේ.

 "Interrogatio;
Quem queritis in sepulchro Christicole ?

Responsio;
Iesum Nazarenum Crucifixum, O caeliolae.
Non est hic, surrexit sicut predixerat; ite, nuntiate quia surrexit de sepulchro.

Ressurex.”

පැනය
සොයන්නේ කවුරුන් ද සොහොනෙහි කිතු සව්වනි ?

පිළිතුර

කුරුසියේ ඇණ ගැසූ නාසරතයේ ජේසුස්ය සුරඟනෙනි. මෙහි නොමැත. පෙර වදාළ ලෙස නැගිට්ටේය එතුමන් යනු පතුරුවනු ඔහු සොහොනින් නැගිට්ට බව 
මම උත්ථාන වූයෙමි 


කුරුසියේ ඇණ ගැසුණු ලැබූ හා මරණයෙන් උත්ථාන වූ ජේසුතුමන්ගේ පාස්කු අභිරහස මුල්කර ගනිමින් පාස්කු දිව්‍ය පූජා යාගයෙහි නිරූපණය වූ මෙම කෙටි ජවනිකාව කිතුනු ජනවන්දනා නාට්‍යයේ මූලික නාට්‍ය ප‍්‍රභේදය වන පාස්කු නාට්‍යයේ මූල බීජය මෙන්ම අභිරහස් නාට්‍යයේ ද මුල් අවස්ථාව ලෙස මධ්‍යකාලීනව යුරෝපීය නාට්‍ය කලාව පිළිබඳව පර්යේෂණාත්මක අධ්‍යනයේ යෙදෙන්නා වූ සියලූම විද්වතුන් පොදුවේ පිළිගනිති. ( See G. Wickham, Shakespeare’s Dramatic Heritage (Routledge & Kegan and Paul: London, 1969, p. 7; විජිත් රොහාන්, ලාංකේය පාස්කු-දුඃඛප‍්‍රාප්ති නාට්‍යයේ ඉතිහාසය, ආකෘති හා භාවිතය (ගොඩගේ කොළඹ 2009, පිටු 29-30).







No comments:

Post a Comment