නර්තනයේ ආරම්භය සහ ඉතිහාසය



පොදු ව්‍යවහාරය අනුව, නර්තනය යනු යම් ර්ද්මයකට අනුව යමෙකුගේ අත් පා හෝ මුළු සිරුරම සෙලවීම යි. එක් පුද්ගලයෙකු හෝ වැඩි පිරිසක් විසින් එය නිරත සංගීතයකට අනුව සිදු කෙරේ.

නර්තනය නැමති සංසිද්ධිය දෙස බලනකල පෙනී යන්නේ එය බාහිර ඉරියව් යොදා ගනිමින් අභ්‍යන්තර හැඟීම් ප‍්‍රකාශ කරන මාධ්‍යයක් බව ය. සිරුර චලනය කරමින් මනුෂ්‍යයා තම හැඟීම් විදහාපායි. රිද්මයකට අනුව පාලනය වන මුළු සිරුරම ඒ සඳහා වැය වේ. එබැවින් නර්තනය ඉතා බලගතු මිනිස් සන්නිවේදන කාරකයකි.

නර්තනය සංස්කෘතියක සුවිශේෂ අංගයකි. එහෙත් ඇතැම් සංස්කෘතීන්වල අනෙක් සංස්කෘතීන්වලට වඩා එය කැපී පෙනේ. බොහෝ විට නර්තනය විවේකයෙන් සහ සැහැල්ලූවෙන් සිටීමේ ක‍්‍රමයකි. නැටුමට සහාභාගිවන්නෝ ද, එය බාලා සිටින්නෝ ද එයින් වින්දනයක් හා සැහැල්ලූවක් ලබාගනිති. සංස්කෘතික නර්තනයෙන් මෙන් ම, විනෝදය සඳහා කෙරෙන සමාජීය නැටුමෙන් ද මෙම ප‍්‍රතිඵලම ලැබේ. 

නර්තනයෙහි සංස්කෘතික හා සමාජීය අංශයන් ඇතිවාක් මෙන්ම ඉතා උතුම් ආගමික පැතිකඩ ද තිබේ. යමෙකු තමන් අදහන දෙවිඳුන් හෝ අනුභූතික පුද්ගලයකු කෙරෙහි දක්වන අභන්තර ආකල්ප හා නැඹුරුව, ඔහුගේ / ඇයගේ සිරුරේ විවිධ චලන මගින් ප‍්‍රකාශ වේ. සංස්කෘතික, සමාජීය හා ආගමික යනුවෙන් නිරවුල් පැහැදිලි පැතිකඩ තුනකට නර්තනය බෙදිය නොහැකි වන අතර, ආසියාතිකයෝ නර්තනය තුළ පැහැදිලි ආගමික වටිනාකමක් සහ අර්ථයක් දකිති. මෙය බොහෝ ආසියාතික ආගම්වල ගෑබ් වී ඇති සුවිශේෂ ලක්ෂණයකි. නර්තනය ඒ ඒ ආගම් හා සම්බන්ධ වූ ප‍්‍රායෝගික මෙන්ම ලිඛිත අංශයන්ගේ ද ලක්ෂණයකි.

එහි ආරම්භය හා ඉතිහාසය

නර්තනයේ ආරම්භය සහ එහි ඉතිහාසය, ගුහා ආශ‍්‍රිත චිත‍්‍ර, පැරණි බිතු සිතුවම් හා ප‍්‍රතිමා මගින් අපි උගනිමු. මෙම ඓතිහාසික සටහන් මගින් නර්තනය මිනිස් ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස තිබූ බව පෙනී යයි. මේ සඳහා ස්ථිර සාක්ෂ්‍ය නොතිබුණත්, නර්තන ආවේගයන් ආදියේ සිටම මනුෂ්‍ය වර්ගයා තුළ තිබුණා විය හැකි ය. නර්තනය මිනිස් ස්වභාවයේම අංගයකි. ඉතා දියුණු සාමජවල පවා, කුඩා දරුවෝ අවිදීමටත් පෙර, තම අදහස් වචනවලින් ප‍්‍රකාශ කිරීමට හැකියාව ලැබීමටත් පෙර, නිරායාසයෙන්ම නටන්නෝ ය. මිනිසාගේ පළමුවන සන්නිවේදන මාධ්‍යය නර්තනය වූ විය හැකි ය. 


ආදී ග‍්‍රීකයන්, හුදු විනෝදය සඳහා නර්තනයට එළඹ ඇත. ඔවුන්ගේ මහා දාර්ශනිකයන් විශේෂයෙන් ප්ලේටෝ (ක‍්‍රි.පූ. 428-348), සොක‍්‍රටීස් (ක‍්‍රි.පූ. 469-399) සහ ඇරිස්ටෝටල්  (ක‍්‍රි.පූ. 384-322) වැන්නවුන් විසින් ඔවුන් දිරිගන්වන ලදි. අවුරුදු 4000කට පමණ පෙර, මිසර වැසියෝ සමාජයීය නර්තනය දැන සිටියහ. භෝජන සංග‍්‍රහයන්හි දී නර්තනයෙන් අමුත්තන් සතුටු කිරීම මිසර සිරිතක් විය. එමෙන් ම, ඉන්දියාවේ ද ආදියේ සිටම නර්තනය විනෝදවීමේ විශේෂාංගයක් විය.

ආගමික නර්තනය

ඉහත සඳහන් පරිදි, නර්තනයෙහි සංස්කීතක, සමාජයීය හා ගැඹුරු ආගමික අංශ ද විය. මෙම අංශ සිද්ධාන්ත ලෙස එකිනෙකින් වෙන්කළ හැකි වූවත්, ක‍්‍රියාවට නංවන කල ඒවා බොහෝ විට වෙන් කළ නොහැකි ය. 

තමන්ගේ සංස්කීතික නැටුම් ආගමික වන්දනාවට සරිලන සේ සකස්කර ගැනීමේ හැකියාව අතින් ආසියාතික ජනතාව ඉතා ප‍්‍රසිද්ධ ය. ආසියාතික රටවල කෙරෙන විහාර ආශිත නර්තනයන් ආරම්භයේ දී පුද කෙරුණේ, සරු අස්වැන්නකට හෝ යහපත් කාලගුණයක් සඳහා තුති පිදීමට ය. නැතහොත් ඉඩෝර සමයක දී වර්ෂාව  පතා අයැදීමකට ය. මෙසැම පුදකරන ලද්දේ මැවීමේ ආධිපතියාණන්වූ දෙවිඳුන්ට ය. 



 ‘ඒතුමන්ගේ නාමයට නර්තනයෙන් පැසසුම් කරත්වා’  (ගීතාවලිය 149:3)

නර්තනයේ ස්වාමියාණෝ 
විශ්වය ආරම්භ වන උදෑසනයේ දී මම නැටුවෙමි,
සඳේ ද, තරුවල ද, ඉරේ ද මම නැටුවෙමි,
සගයෙන් බැස අවුත් මිහිතලය මත මම නැටුවෙමි,
බෙත්ලෙහෙම් පුරවරයේ දී මම උපත ලැබුවෙමි.
එබැවින් ඔබ කොතැනක වූවත් රංගනයේ යෙදෙන්න,
එතුමන් කීවේ මම නර්තනයේ දෙවිඳුන් බව ය.
ඔබ කොතැන සිටියත් මම ඔබව මෙහෙයවමි,
නර්තනයේ දී මම ඔබ සැම මෙහෙයවන්නෙමි.

මම පරිසිවරුන් වෙනුවෙන් ලේඛකයන් වෙනුවෙන් නැටුවෙමි.
එහෙත් ඔවුන් නර්තනයේ නොයෙදුණි, ඔවුන් මා අනුගමනය නොකළෝ ය. 
ධීවරයන් වෙනුවෙන් ජේමිස්, ජෝන් යන සගයන් වෙනුවෙන් මම නැටුවෙමි.
ඔවුහු මා සමඟ ආවෝ ය. නර්තනය නොකඩවා කෙරිණි. 

සබත් දවසේ දී මම නැටුවෙමි : අබ්බගාතයින් සුව කළෙමි, 
එහෙත් එවකට සිටි ශුද්ධ වූ අයට එය ලැජ්ජාවට හේතුවක් විය. 
ඔවුහු මට කස පහර දුන්හ : මා නිර්වස්ත‍්‍ර කළෝ ය. 
උස් තැනක මා එල්ලා, කුරුසිය මත මා හට මැරෙන්නට ඉඩ හැරියහ. 

අහස අඳුරු වූ ඒ සිකුරාදා දින මම නැටුවෙමි,
යක්ෂයා සමගින් නර්තනයේ යෙදීම දුෂ්කර කරුණකි,
ඔවුහු මා මිහිතලයේ වැලලූහ, එය මගේ අවසානය යි සිතූහ,
එහෙත් නර්තනය මම වෙමි. මම එහි නොකඩවා යෙදෙමි.

ඔවුන් මා පහතට හෙලූ නමුත් මම ඉහළටම නැඟුණෙමි.
කිසිදිනෙක මිය නොදෙන ජීවිතය මම ය.
ඔබ මා තුළ ජීවත් වන්නේ නම්, මම ඔබ තුළ ජීවත් වන්නෙමි.
එතුමෝ මෙසේ පැවසූහ. ‘මම නර්තනයේ ස්වාමියාණෝ ය’

හිලේරියන් දිසානායක නි.ම.නි.

2 comments: